වයස අවුරුදු 3 ත් 5 ත් අතර පසුවන දරුවන්ට සූම් (Zoom) හෝ වෙනත් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පෙරපාසල් සහ ප්‍රාථමික අවධියේ පසුවන දරුවන් ඉගෙන ගත යුත්තේ සමාජ අන්තර්ක්‍රියා දිරිමත් කරන ක්‍රියාකාරකම් පාදක කරගත් පරිසරයක බවයි. කුඩා අවධියේදීම මෙලෙස දීර්ඝ වේලාවක් තිර (Screen) දෙස බලා සිටිමින් ඉගෙනීම නිසා දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවීම සහ නිර්මාණාත්මක චින්තනයට බාධා පැමිණීම වැනි අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව එහි සඳහන් වේ.ජාතික ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව කුඩා දරුවන් තම අවට පරිසරය සමඟ සක්‍රියව ගනුදෙනු කළ යුතු අතර, අධික ලෙස ඩිජිටල් මෙවලම්වලට නිරාවරණය වීමෙන් දරුවන්ගේ දෘෂ්ටියට සහ මොළයේ වර්ධනයට මෙන්ම මානසික හා ශාරීරික සෞඛ්‍යයට ද හානි පැමිණිය හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. මේ නිසා මෙම වයස් කාණ්ඩයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වාණිජ පරමාර්ථයෙන් පවත්වනු ලබන අන්තර්ජාල සම්මන්ත්‍රණ සඳහා දරුවන් යොමු නොකරන ලෙස දෙමාපියන්ට උපදෙස් දෙනු ලැබේ. එවැනි වැඩසටහන් මගින් අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නොයනවා පමණක් නොව, දරුවාගේ ස්වභාවික වර්ධනයට ද බාධා පමුණුවයි. දරුවෙකුගේ හොඳම ගුරුවරයා වන්නේ ඩිජිටල් තිරයක් නොව, සැබෑ ජීවිතයේ අත්දැකීම් සහ පරිසරය සමඟ පවත්වන සබඳතාව බව අමාත්‍යාංශය අවධාරණය කරයි.


























