පෙර පාසල් අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දීමටත්, ඒ හරහා ගුරුවරුන් විධිමත් පුහුණුවකට යොමු කිරීමටත් පියවර ගන්නා බවයි. අම්බලන්තොටදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසල් ගුරු හමුවකට එක්වෙමින් ඇය මේ බව අවධාරණය කළාය.පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය සුරැකීම සඳහා නව නියාමන අධිකාරියක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇත. මෙහිදී ගුරුවරුන් සඳහා පිළිගත් ඩිප්ලෝමා විෂය මාලාවක් හඳුන්වා දෙන අතර, ඉදිරියේදී ගුරු පත්වීම් සහ වරප්‍රසාද ලබා දීමේදී මෙම වෘත්තීය සුදුසුකම්වලට ප්‍රමුඛතාව හිමි වේ. මෙමඟින් දැනට පවතින අවිධිමත් ලියාපදිංචි කිරීම් වෙනුවට විධිමත් සහ ප්‍රමිතිගත පෙර පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීමට අපේක්ෂිතය.රටේ ආර්ථිකය මුහුණ දී ඇති වත්මන් අභියෝග පිළිබඳවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කරුණු පැහැදිලි කළාය. 2024 වසරේදී බිඳ වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය දැඩි වෙහෙසක් ගත් බවත්, 2025 වසරේදී අයවැය කළමනාකරණය කර ගනිමින් ස්ථාවරත්වයක් කරා ළඟා වීමට හැකි වූ බවත් ඇය පැවසුවාය. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සහ විදේශ ප්‍රේෂණවලට එල්ල වී ඇති බලපෑම හමුවේ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.විදේශීය බලපෑම් සහ ඉන්ධන ප්‍රවාහන ගැටලු හමුවේ වුවද රට තවදුරටත් ණය උගුලක සිර නොකර ආර්ථිකය කළමනාකරණය කිරීම රජයේ අරමුණයි. අනවශ්‍ය වියදම් කපා හරිමින් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට රජය සූදානම් බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ මඟින් රටේ අනාගත පරපුරේ පදනම ශක්තිමත් වන බව විශ්වාසය පළ කළාය. යුද්ධය වැනි ගෝලීය අර්බුද දිගුකාලීනව පැවතුනහොත් ඒ සඳහාද විකල්ප සැලසුම් සකස් කර ඇති බව ඇය සඳහන් කළාය.පෙර පාසල් ගුරුවරුන්ගේ දීර්ඝකාලීන ගැටලුවක් වූ වැටුප් තල සකස් කිරීම පිළිබඳවද මෙහිදී සුබදායී අදහස් ඉදිරිපත් විය. අදියරෙන් අදියර ගුරුවරුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නංවා ඔවුන් නිසි වැටුප් ක්‍රමවේදයකට ඇතුළත් කිරීමට රජය කැපවී සිටී. දැනට පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අනිවාර්ය කොටසක් ලෙස මුල් ළමා විය සංවර්ධනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බව ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.පරිපාලනමය වශයෙන් පවතින බාධාවන් ජය ගැනීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ ව්‍යුහ කමිටු හරහා ක්‍රමවත් සැලසුමකට අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. පෙර පාසල් විෂය පථය පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට අයත් වුවද, මධ්‍යම රජය මැදිහත් වී අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සහ මඟපෙන්වීම් ලබා දෙන බව ඇය අවධාරණය කළාය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.


























