අමාත්‍ය මණ්ඩලයට තීරණ ගැනීමේදී සහාය වීමට උපදේශකවරුන් පත් කිරීමට බලය ඇති බවත්, ඒ අනුව පොදු පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ස්වේච්ඡා උපදේශක සභාවක් පත්කළ බවත් ප්‍රධාන වශයෙන් මෙහිදී අවධාරණය විය. පසුගිය සිකුරාදා (24) අමාත්‍යාංශයේදී පැවති මෙම සංකේතාත්මක පත්වීම් ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ පොදු පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, ජනතාව වෙනුවෙන් වැඩ කිරීමේදී තීරණාත්මක මොහොතක හොඳම තීරණ ගැනීම සඳහා අපට අනාගත දැක්මක් අවශ්‍ය බවයි. එමෙන්ම, ක්‍රියාමාර්ග ගැනීමේදී එහි වාසි අවාසි හොඳින් කිරා මැන බැලිය යුතු බවත්, මෙම උපදේශක සභාවෙන් එම ක්‍රියාවලියට අර්ථවත් දායකත්වයක් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, කීර්තිමත් විද්වතුන්, පර්යේෂකයන් සහ වෘත්තිකයන් ඇතුළු දස දෙනෙකුගෙන් යුත් මෙම ස්වේච්ඡා උපදේශක සභාව පත් කර ඇත්තේ ඒ අනුවයි. රටේ පුළුල්ම සම්බන්ධතාවක් ඇති අමාත්‍යාංශයක් ලෙස අපේක්ෂිත වේගයෙන් හා ගුණාත්මක බවින් යුතුව සේවා සැපයීමට සුදුසු සහ පළපුරුදු පිරිසක් අවශ්‍ය බවත්, මෙවැනි අවස්ථාවක් හැමෝටම නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සේනාරත්න මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කියා සිටියේ, මෑතකාලීන මහජන අදහස් විමසීම්වලින් රාජ්‍ය සේවයේ හා සේවාවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු වූ බවයි. සිවිල් සමාජය තුළ සිටින බොහෝ දෙනෙක් තම විශේෂඥ දැනුම හා අත්දැකීම් දායක කිරීමට සූදානමින් සිටින බවත්, නව රජය අමාත්‍යාංශයේ කටයුතු ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වඩාත් විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීමට ඔවුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. රටේ සෑම කොටසක්ම සම්බන්ධ කරන හදවතක් බඳු කාර්යභාරයක් මෙම අමාත්‍යාංශය සතු බවත්, මෙවැනි කේන්ද්‍රීය ආයතනයක තීරණ ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම මෙම නව සභාව විසින් ලබා දෙනු ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.
අලුතින් පත් වූ ස්වේච්ඡා උපදේශක සභාවේ සාමාජිකයින්:
- මහාචාර්ය ධර්ම රාජපක්ෂ
- මහාචාර්ය මන්සූර් මොහොමඩ් ෆාසිල්
- මහාචාර්ය එම්.ජී. කුලරත්න
- කාන්ති හේමමාලි විජේතුංග
- නීතිඥ එස්.ඒ. විජයානන්ද
- එච්.එම්. සුනිල් හේරත්
- එල්.යූ. හෙට්ටිආරච්චි
- එච්. තිලකවර්ධන
- එන්.ඒ. ධර්මසිරි
- ෂිරාන් කරුණාතිලක























