කළුතර පොලිස් විද්‍යාලයේදී අද උත්කර්ෂවත් අන්දමින් පැවැති විසිර යාමේ පෙළපාලියකදී නව පොලිස් කොස්තාපල්වරුන් 280 දෙනෙකු සිය පුහුණුව නිම කර පොලිස් සේවයට එක්විය. මෙම කණ්ඩායමට පොලිස් කොස්තාපල් රියදුරන් 55 දෙනෙකු ද ඇතුළත් වීම සුවිශේෂී කරුණකි. මෙහිදී සමස්ත පුහුණු පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා ලෙස ඒ. එම්. ඕ. වී. සෙනෙවිරත්න නිලධාරියා ඇගයීමට ලක්විය.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ, පොලිස් නිලධාරීන්ට කිසිදු බාහිර බලපෑමකින් තොරව තම රාජකාරීන් ස්වාධීනව සහ නිදහසේ ඉටු කිරීමට අවශ්‍ය පසුබිම වර්තමානය වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිර්මාණය කර ඇති බවයි. නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව ද ඔහු අවධාරණය කළේය.නවක නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහජන විශ්වාසය දිනාගත හැකි විනයගරුක පොලිස් සේවාවක් රටට අවශ්‍ය බවයි. අද දින විසිර ගිය මෙම නිලධාරීන් පිරිස ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර, එය රටේ සාමය සහ නීතිය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.





















