දීපාවලිය සැබැවින්ම ආලෝක පූජාවක් බවත්, ඒ වෙනුවෙන් දැල්වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක් කරයි. දීපාවලි පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අපරාධ සහ මත් උවදුර වැනි දැවැන්ත අභියෝග මැඬලීමට රජය දැඩි වෑයමක නිරතවන බවයි. රජයක් ලෙස පුරවැසියන්ගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කැපවන බවද හෙතෙම අවධාරණය කළේය. සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය, නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.මේ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා කරන්නේ, මේ ආලෝකය ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවා කියාය. ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන් සියලු ලංකාවාසීන්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි අග්‍රාමාත්‍යවරිය පවසයි. දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය අන්ධකාරයෙන් ගැලවෙමින්, ශ්‍රී ලංකාව මේ වන විට සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින බවත්, ජනතාව නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින බවත් ඇය පෙන්වා දී තිබේ.