​බංග්ලාදේශය යළිත් ගිනි ගනී: ශරීෆ් හඩීගේ මරණයත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි!

හිටපු අගමැතිනී ෂීක් හසීනා බලයෙන් පහකිරීමට නායකත්වය දුන් තරුණ ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු වූ ශරීෆ් ඔස්මාන් හඩීගේ අභාවයත් සමඟ බංග්ලාදේශයේ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී තිබේ. පසුගිය සතියේ ඩකා නුවර පල්ලියකින් පිටතට පැමිණෙමින් සිටියදී මුහුණු ආවරණය කරගත් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ හඩී, සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා ජීවිතක්ෂයට පත්විය. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීමට සූදානමින් සිටි මැතිවරණය සඳහා දින නියම කර දිනකට පසුව මෙම වෙඩි තැබීම සිදුවීම විශේෂත්වයකි. ඔහුගේ මරණය සැලවීමත් සමඟ කෝපයට පත් ආධාරකරුවන් අගනුවර විරෝධතාවල නිරත වූ අතර, පසුව ප්‍රමුඛ පෙළේ පුවත්පත් කාර්යාලවලට පහර දී ගිනි තැබීමට ද පියවර ගෙන තිබුණි. තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට ද රජයට සිදුවිය.​32 හැවිරිදි හඩී, හසීනා විරෝධී ‘ඉන්කිලාබ් මංචා’ ශිෂ්‍ය ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ඉන්දියාව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකි. අන්තර්වාර රජයේ ප්‍රධානී, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් මහතා මෙම මරණය ජාතියට සිදු වූ “පියවිය නොහැකි පාඩුවක්” ලෙස හඳුන්වමින් ලබන සෙනසුරාදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙය මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදුකළ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පවසන ඔහු, ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමන භීෂණයෙන් නැවැත්විය නොහැකි බව අවධාරණය කළේය. වසර 15ක පාලනයෙන් පසු ඉන්දියාවට පලාගිය ෂීක් හසීනාට, විරෝධතාකරුවන් 1,400කට අධික පිරිසක් මියගිය සිදුවීම්වලට අදාළව පසුගිය නොවැම්බරයේදී මරණ දඬුවම නියම විය.

What's your reaction?

Related Posts

1 of 523

Leave A Reply

Your email address will not be published. Required fields are marked *