බදුල්ල ශික්ෂණ රෝහලේ අතරමග නතර කර තිබූ දස මහල් වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සහ එහි මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු මධ්‍යස්ථානය ලෙස මෑතකදී ශික්ෂණ රෝහලක් බවට පත්කෙරුණු බදුල්ල මහා රෝහල නම් කර ඇති අතර, එම කටයුතු ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය (අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස) සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අනුමැතිය ලැබී ඇත. මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම (CESL) වෙත පවරා ඇති අතර, මෙහි ඉදිකිරීම් නිමවීමත් සමඟ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක සහ අනෙකුත් පහසුකම්වලින් 80%ක් පමණ සම්පූර්ණ වනු ඇත. මෙය කලාපයේ සෞඛ්‍ය සේවාව මෙන්ම වෛද්‍ය අධ්‍යාපනයද ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇති බව බලධාරීහු පවසති.


























