බදු බර මදිවට විදුලි බිලත් ඉහළට: ආණ්ඩුව ජනවරම පාවා දී ඇති බවට සජිත්ගෙන් චෝදනා

සුළි කුණාටුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසරණ වී සිටින මොහොතක, රජය විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට සූදානම් වීම දැඩි විවේචනයට ලක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබේ. සෞභාග්‍යමත් රටක් සහ යහපත් ජීවිතයක් පොරොන්දු වී බලයට පත් වූ වත්මන් රජය, දැන් සිදු කරමින් සිටින්නේ ජනතාව තවදුරටත් දිළිඳු කරමින් ඔවුන්ගේ ජීවිත දුෂ්කර කිරීම සඳහා පදනම දැමීම බව ඔහු එහිදී සඳහන් කළේය.​විපක්ෂයේ සිටියදී විදුලි බිල 33%කින් අඩු කරන බවටත්, රුපියල් 9,000ක බිල රුපියල් 6,000 දක්වාත්, රුපියල් 3,000ක බිල රුපියල් 2,000 දක්වාත් අඩු කරන බවටත් සෑම වේදිකාවකම පොරොන්දු වූ පිරිස බලයට පත් වූ පසු එම පොරොන්දු අමතක කර ජනවරම පාවා දී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා ඇතුළු රජය ලබා දුන් මෙම පොරොන්දු විශ්වාස කර ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ විශ්වාසය කඩ කරමින්, පාරිභෝගිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රජය ජනතාව මුලාවේ දමා ඇති බවද ඔහු පැවසීය.​එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ (JVP) පිළිබඳවද අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ජනතාවට වාසිදායක ලෙස සංශෝධනය කරන බවට පැවසූ ඔවුන්, අද කිසිදු වෙනසක් නොමැතිව එම ගිවිසුම් ක්‍රියාත්මක කරමින් ජනතාව මත අසීමිත පීඩනයක් පටවමින් සිටින බව චෝදනා කළේය. සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් ගැන පවා නොසිතා රජය ගන්නා මෙම තීරණය වහාම හකුලාගෙන, පොරොන්දු වූ පරිදි 33%ක සහනය ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙලෙස ජනවරම උල්ලංඝනය කරමින් ජනතාව මත දරාගත නොහැකි බරක් පටවන රජයේ ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පෙළගැසෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 980

Leave A Reply

Your email address will not be published. Required fields are marked *