පවතින පාලනය යටතේ මෙරට බලශක්ති ක්ෂේත්රය දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බවත්, ඉන්ධන මිල ඉහළ නොදමන බවට වූ පොරොන්දු කඩ කරමින් රජය මේ වන විට තෙවරක්ම මිල ඉහළ දමා ඇති බවත් සමගි වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරයි. ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර පිරවුම්හල් 150කට අධික සංඛ්‍යාවකට ඇණවුම් ලබාදීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ජනතාවගේ මුදල් ගසාකෑමට ඉඩ සලසා දෙමින් රජය ගනු ලබන අත්තනෝමතික තීරණ හේතුවෙන් අද වන විට සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව අද (27) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේය.විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වීම හේතුවෙන් මේ වන විට ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුව ඇති බවයි. මෙහි සෘජු ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී විදුලි බිල යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ඔහු අනාවරණය කළේය. එසේම, ජාතික සම්පත් ආරක්ෂා කරන බව පැවසුවද ඉන්ධන ටැංකි සහ බලශක්ති සම්පත් විදේශයන්ට ලබාදීමට වත්මන් පාලකයන් කටයුතු කර ඇති බවත්, පිරිපහදුව වසා දැමීමට ගන්නා උත්සාහයන් හරහා රටේ බලශක්ති ස්වාධීනත්වය අනතුරේ හෙළා ඇති බවත් පාලිත මහතා මෙහිදී අවධාරණය කළේය.රජයේ නොහැකියාව පාලනය බලයට පත් වූ දා සිටම මනාව පැහැදිලි වන බවත්, ජාත්‍යන්තර මට්ටමින් නිසි රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා ඉන්ධන ලබාගැනීමේ විකල්ප මාර්ග පවා අහුරාගෙන ඇති බවත් ඔහු පවසයි. කොරෝනා සමයේ සිටම සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන් අනතුරු ඇඟවීම් අද වන විට යථාර්ථයක් වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, මේ වන විට රට තුළ ජන අරගලයක අවශ්‍යතාව මතුව ඇති බවත් ඉදිරි මැතිවරණයකදී සියලු දෙනා ඒකරාශී වී විකල්ප නායකත්වය ශක්තිමත් කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
























