ගෝනපොළ ප්‍රදේශයේදී බවුසර් රථයක් යොදා ගනිමින් මහා පරිමාණයෙන් ඉන්ධන තොග රැස්කරගෙන සිටි පුද්ගලයෙකු වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන්, ලද බුද්ධි තොරතුරකට අනුව අද (24) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකි වී ඇත. එහිදී සැකකරු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 6,752ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් පොලිස් භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු “බෝගහගෙදර කොල්ලා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 46 හැවිරිදි ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු පානදුර ඉන්ධන ගබඩාවක සිට සිය බවුසර් රථයෙන් ඩීසල් රැගෙන විත් නිවසේ සඟවා තැබීමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. අදාළ බවුසර් රථයේ ටැංකි දෙකක ඩීසල් ලීටර් 6,600ක් තිබී ඇති අතර, ඔහුගේ නිවසේ සඟවා තිබූ බැරල් දෙකක තිබී තවත් ඩීසල් ලීටර් 152ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් සොයාගෙන ඇත. සැකකරු ඉදිරි විමර්ශන සඳහා මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
























