ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එළඹෙන ජූලි මාසයේදී බස් ගාස්තු සම්බන්ධයෙන් යළිත් තීරණයක් ගැනීමට ඉඩකඩ පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවත්, ඉදිරියේදී ලෝක දේශපාලනික තත්ත්වය වෙනස් වන ආකාරය අනුව අවශ්‍ය තීරණ නියමිත වේලාවට ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.කෙසේ වෙතත්, රජයේ මූලික අරමුණ මහජනතාවට උපරිම සහනයක් සැලසීම බව පැවසූ අමාත්‍යවරයා, ඉන්ධන මිල පහත වැටුණහොත් එහි වාසිය සෘජුවම ජනතාවට ලබා දීමට කටයුතු කරන බව සහතික විය. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වුවහොත්, දැනට වැඩි කර ඇති බස් ගාස්තු ද ඒ අනුව යළිත් පහත දැමීමට රජය සූදානම් බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මැදපෙරදිග යුද්ධය උත්සන්න වී සැපයුම් ජාල බිඳ වැටුණහොත් පමණක් ඇතැම්විට දැඩි තීරණ ගැනීමට සිදු විය හැකි වුවද, දැනට එවැනි තත්ත්වයක් උදා නොවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි. ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර, ඕනෑම අවස්ථාවක සහනයක් ලබා දිය හැකි මට්ටමක් පවතින්නේ නම් බස් ගාස්තු සංශෝධනය කිරීමට මැදිහත් වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
























