බස් ගාස්තු විධිමත් ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (23) උදෑසන සිට සිය ධාවන කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් ප්‍රධාන බස් නැවතුම්පොළවල මගී පෝලිම් සහ දැඩි තදබදයක් වාර්තා විය. මාර්තු 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා ඔටෝ ඩීසල් මිල ඉහළ යාම හමුවේ, මෙහෙයුම් පිරිවැය පියවා ගැනීම සඳහා බස් ගාස්තු වැඩිකිරීම අත්‍යවශ්‍ය බව බස් සංගම් ප්‍රවාහන බලධාරීන්ට දැනුම් දී තිබුණි. ඊයේ (22) දිනය ඇතුළත මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද දිනයේ සේවාවන් අත්හිටුවීමට තීරණය කළ බව එම සංගම් පවසයි.ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) තහවුරු කළේ පවතින බස් ගාස්තු සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යාම සියයට 10කට වඩා වැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊට අනුමැතිය ලැබුණු වහාම නව බස් ගාස්තු ව්‍යුහය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, බස් සංගම් අවධාරණය කරන්නේ නව ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් තමන් ධාවන කටයුතුවලින් බැහැරව සිටින බවයි. ඉන්ධන මිල සහ වාහන නඩත්තු වියදම් ඉහළ යාම හමුවේ පැරණි ගාස්තු යටතේ බස් රථ ධාවනය කිරීම මූල්‍යමය වශයෙන් කළ නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
























