2026 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ ලබාදී ඇති නව බදු සහන මගින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ලැබෙන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන් කොළඹට උතුරින් පිහිටි ඇඟලුම් සැපයුම් හා ගුණාත්මක තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථානවල සංචාරයක නිරත විය. මෙම නව ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයින්ට ලොව ඕනෑම රටකින් රෙදිපිළි ලබාගෙන, බ්‍රිතාන්‍ය වෙළඳපොළට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය වැඩිකරන අතර නිෂ්පාදන ධාරිතාව 10% කට වඩා වැඩි කිරීමට ද හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම සංචාරයේදී නියෝජිත පිරිස NEXT Sourcing සහ Maersk ශ්‍රී ලංකා යන ආයතනවල මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළහ. NEXT, Tesco වැනි ප්‍රමුඛ බ්‍රිතාන්‍ය සන්නාමයන් සඳහා මෙරටින් සිදුකෙරෙන අපනයන කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, Aitken Spence Logistics වැනි දේශීය ආයතනවල සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම සැපයුම් ජාලය මගින් ප්‍රවාහන, ඇසුරුම්කරණ සහ ගබඩා කිරීමේ අංශවල සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් සුරක්ෂිත වන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය පාරිභෝගිකයින්ට සහනදායී මිලට උසස් තත්ත්වයේ ඇඟලුම් ලබාදීමට මෙන්ම ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ඇඟලුම් මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් කිරීමට මෙම DCTS ප්‍රතිසංස්කරණ මගින් මග පෑදෙනු ඇත.


























