මෙරට ආර්ථික සහ සමාජීය සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි එකම මඟ ගුණාත්මක මානව සම්පතක් බිහි කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ රජය ආරම්භ කර ඇති මෙම දැවැන්ත වෙනස ජයග්‍රහණය කරවීම සඳහා කෙතරම් බාධා පැමිණියද තම ඉලක්කය කරා නොසැලී ගමන් කරන බව ඇය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අධ්‍යාපන සමුපකාර සමිතියේ (EDCS) සාමාජික දූ දරුවන් සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීමේ “සිසු නැණ ප්‍රණාම” උළෙල අමතමිනි. අද (31) අරලියගහ මන්දිරයේදී පැවති මෙම උත්සවයේදී 2023/2024 වර්ෂවල විශ්වවිද්‍යාල වරම් ලැබූ දරු දැරියන් ඇගයීමට ලක්විය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, EDCS ආයතනය විසින් සිදුකරන මෙම සේවාව හුදු මුදල් ආධාරයක් පමණක් නොව රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් බව පෙන්වා දුන්නාය. දකුණු ආසියාවේ විශාලතම සමුපකාරයක් දක්වා මෙම ආයතනය වර්ධනය වීම ගුරු පරපුරේ සාමූහික ශක්තියට කදිම උදාහරණයක් බව ඇය පැවසුවාය.1930 තරම් ඈත අතීතයක සාමාජිකයන් 58 දෙනෙකුගෙන් ඇරඹි මෙම සමිතිය, අද වන විට සාමාජිකයන් ලක්ෂ දෙකකට අධික පිරිසකගෙන් සමන්විත දැවැන්ත ජාලයක් බවට පත්ව ඇත. එහි වර්ධනය පිළිබඳ ඇය සිය ප්‍රසාදය පළ කළ අතර, වෘත්තීය සමිති ව්‍යාපාරයක පවතින විනය සහ සංවිධානාත්මක භාවය මෙයින් මනාව පිළිබිඹු වන බව ද පැවසුවාය.ලෝකය වේගයෙන් වෙනස් වන පරිසරයක අධ්‍යාපන පද්ධතිය ද ඊට ගැළපෙන ලෙස නවීකරණය විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. පාසල් අධ්‍යාපනයේ සිටම එම වෙනස ඇති කළ යුතු අතර විශ්වවිද්‍යාල සිසුන් එම වෙනසේ පෙරගමන්කරුවන් විය යුතු බව ඇයගේ ස්ථාවරයයි.ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළත් වන ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ සීමිත පිරිසක් බව පෙන්වා දුන් ඇය, එම දුර්ලභ අවස්ථාව තමන්ගේ පුද්ගලික දියුණුවට මෙන්ම රටේ අනාගත අර්බුද ජයගැනීමට යොදා ගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, වංචාව සහ දූෂණය පිටුදැකීම නිසා සමිතියේ මූල්‍ය ශක්තිය කෙටි කලක් තුළ විශාල ලෙස ඉහළ නැංවීමට හැකි වූ බවයි. මාස නවයක් තුළ රුපියල් මිලියන 1200 සිට 1700 දක්වා සමිතියේ මූල්‍ය ස්ථාවරත්වය වර්ධනය වූ බව ඔහු අනාවරණය කළේය.මෙවර ශිෂ්‍යාධාර ප්‍රදානය යටතේ දිවයින පුරා සිසුන් 2292ක් වෙනුවෙන් රුපියල් මිලියන 13.7ක මුදලක් බෙදා දෙන ලදී. මෙය 1984 වසරේදී සිසුන් 15 දෙනෙකුගෙන් ඇරඹි ව්‍යාපෘතියක් වන අතර මේ වන විට එක් සිසුවෙකුට රුපියල් 75,000ක් දක්වා උපරිමයකට යටත්ව මුදල් පිරිනමනු ලබයි.වසර 41ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එන මෙම උතුම් කාර්යය හරහා දහස් ගණනක් සිසුන්ගේ අධ්‍යාපන සිහින සැබෑ වී ඇති බව උත්සවයේදී අවධාරණය කෙරුණි. අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී සිසුන් කිහිපදෙනෙකු සඳහා සංකේතාත්මකව ශිෂ්‍යාධාර පත් පිරිනමන ලදී.මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය සහ අධ්‍යාපන සමුපකාර සමිතියේ සභාපති ලාල් කුමාර මහතා ඇතුළු අධ්‍යාපන හා සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රභූන් පිරිසක් සහභාගී වී සිටියහ.


























