මෙරටට ආනයනය කර ඇති බව කියන ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් විධිමත් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අපොහොසත් වී ඇති බවට සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් චෝදනා කරති. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු පිරිසක් අද දින මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණි අතර, එහිදී ඔවුන් අවධාරණය කළේ අදාළ අමාත්‍යාංශය මෙන්ම පරිසර අධිකාරියද මේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි නිහඬතාවයක බවයි.බලාගාරයෙන් නිකුත් වන දුම සහ අපද්‍රව්‍ය හරහා පරිසරයට මෙන්ම මිනිස් සෞඛ්‍යයටද දිගුකාලීන හානි සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම 2018 වසරේදී මෙවැනි පරීක්ෂණ වාර්තා නිකුත් වුවද, මෑතකාලීනව එවැනි කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැති වීම බරපතළ ගැටලුවකි. දහනයෙන් පසු පරිසරයට එකතු වන විෂ ද්‍රව්‍ය ජල මූලාශ්‍ර හරහා මත්ස්‍යයින්ගේ ශරීරයටත්, පසුව මිනිස් ශරීරයටත් ඇතුල් වීමෙන් මාරාන්තික රෝගාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු ඇඟවීය.මෙම ගල්අඟුරු ගනුදෙනුව හරහා මෙරටට රුපියල් කෝටි ගණනක අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බවට සාක්ෂි පවතින බවත්, එසේ තිබියදීත් මීට පෙර දූෂිත ක්‍රියාවල නිරත වූ බව කියන අදාළ සමාගමටම නැවත ටෙන්ඩරය ලබාදීම විමතියට කරුණක් බවත් ක්‍රියාකාරීහු පවසති. දුමේ පැහැය පිළිබඳ වාද විවාද කිරීමෙන් පලක් නොවන බවත්, රජය කළ යුත්තේ සතියක් වැනි කෙටි කාලයක් තුළ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ජනතාවට අනාවරණය කිරීම බවත් ඔවුන් අවධාරණය කරති.මේ අතර අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා සඳහන් කළේ, වත්මන් රජය සිදුකරන මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රටේ සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි. ගෑස් සහ තෙල් මිල ඉහළ දැමීමට අමතරව, බාල ගල්අඟුරු වංචාව හරහා සිදුවන අලාභයද අවසානයේ විදුලි බිල හරහා පාරිභෝගිකයා මතම පටවමින් පවතින බව ඔහු චෝදනා කළේය. දූෂිත ආයතන සමඟ සිදුකරන මෙවැනි ගනුදෙනුවලින් පෙනී යන්නේ රජය ජනතා සුබසිද්ධිය පිළිබඳ තැකීමක් නොකරන බවයි.සමාජ මාධ්‍ය හරහා මෙම ගැටලුව යටපත් කිරීමට විවිධ අසත්‍ය ප්‍රචාරයන් දියත් වුවද, සත්‍ය තත්ත්වය වන්නේ මේ වන විට රට තුළ දැවැන්ත බලශක්ති සහ සෞඛ්‍යමය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවයි. මධ්‍යම පරිසර අධිකාරිය වහාම සිය නිද්‍රාශීලී පිළිවෙත අතහැර, බාල ගල්අඟුරු දහනයෙන් ජනජීවිතයට එල්ල වන තර්ජනය පිළිබඳ විධිමත් වාර්තාවක් රටට ඉදිරිපත් කළ යුතු බවට සිවිල් ක්‍රියාකාරීහු මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියහ.


























