වත්මන් බලශක්ති කළමනාකරණයේ පවතින දුර්වලතා සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයින් පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවිය. එහිදී ඔවුන් අවධාරණය කළේ රජයේ නිසි සැලසුමක් නොමැතිකම හේතුවෙන් ජනතාව මත දැඩි පීඩනයක් පටවන බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම විදුලි බලය සැපයීමේදී පවතින ඒකාධිකාරී ස්වභාවය වෙනස් විය යුතු බවත්, පාරිභෝගිකයාට විදුලිය ලබාගැනීමේ විකල්ප තේරීම් තිබිය යුතු බවත් මෙහිදී ප්‍රකාශ විය.නොරොච්චෝල බලාගාරයට බාල ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් එහි යන්ත්‍ර සූත්‍ර බිඳවැටී ඇති බවත්, එම පාඩුව අවසානයේ ජනතාවට දැරීමට සිදුවන බවත් විද්වතුන් පෙන්වා දුන්හ. බාල ගල් අඟුරු කුඩු කිරීමේ යන්ත්‍රය හිරවීම නිසා බලාගාරයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉන් පිටවන අළු ප්‍රමාණය ඉහළ යාම නිසා පරිසරයට මෙන්ම ශ්‍රී මහා බෝධිය වැනි ඓතිහාසික උරුමයන්ට ද හානි සිදුවීමේ අවදානමක් පවතින බව ඔවුහු අනාවරණය කළහ. ගල් අඟුරු වංචාව වසා ගැනීමට රජය උත්සාහ කරන බවට ද මෙහිදී චෝදනා එල්ල විය.මහජන උපයෝගිතා කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද විශේෂඥයින් සිය අප්‍රසාදය පළ කළහ. කොමිසම හුදෙක් නිර්දේශ නිකුත් කිරීමට පමණක් සීමා නොවී, පනතින් තමන්ට පැවරී ඇති බලතල අනුව සෘජු ආඥා නිකුත් කළ යුතු බව ඔවුහු අවධාරණය කළහ. වසර නවයක් තිස්සේ ගැටලු සාකච්ඡා කළ ද විසඳුම් ලැබෙන ක්‍රමවේදයක් සකස් වී නොමැති බවත්, මහජන මුදල් වෙළඳ දැන්වීම් සඳහා නාස්ති නොකර පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලෙසත් වෘත්තීයවේදීන් මෙහිදී ඉල්ලා සිටියහ.සූර්ය බල ශක්ති කර්මාන්තය මේ වන විට දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බවත්, විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මේ වන විටත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විෂය ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පැවසූහ. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වෙනස් වීම් සහ කලාපීය දේශපාලන බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ඔවුහු පෙන්වා දුන්හ. විදුලි වාහන නියාමනය සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔවුන්ගේ අදහස විය.පවත්නා නීතිමය රාමුව තුළ කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත්, ජාතික විදුලිබල ප්‍රතිපත්තිය නිසි ලෙස බලාත්මක නොවීම නිසා සමස්ත ක්ෂේත්‍රයම අරාජික වී ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජිතයෝ පැවසූහ. විදුලි බල මණ්ඩලයේ වංචා සහ දූෂණ වසන් කරමින් සහන ලබාදීමට පොරොන්දු වූවන් දැන් නිහඬව සිටින බවත්, පූර්ණ විනිවිදභාවයකින් යුතු බලශක්ති ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවත් අවසාන වශයෙන් අවධාරණය කෙරිණි.

























