කාඩිෆ් නුවර රථ ගාලකදී තම බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ වරදට 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන තිසර වේරගලගේට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. 2025 අගෝස්තු 21 වන දින කාඩිෆ් හි රිවර්සයිඩ් ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්වූයේ ඔහුගේ වෙන්ව සිටි බිරිඳ වූ 32 හැවිරිදි නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල නැමැත්තියයි. මිය යන විට ඔවුන් දෙදෙනා මාස කිහිපයක සිට වෙන්ව ජීවත් වී ඇති අතර, නිරෝධා වෙනත් පුද්ගලයෙකු සමඟ පැවැත්වූ සබඳතාවයක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.මුලදී මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළද, පසුව ඔහු වරද පිළිගත් අතර නිව්පෝට් ක්‍රවුන් අධිකරණයේදී ඔහුට මෙම දඬුවම නියම විය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඩැනියෙල් විලියම්ස් ප්‍රකාශ කළේ විත්තිකරුගේ “කුරිරු ආත්මාර්ථකාමිත්වය” හේතුවෙන් තරුණ ජීවිතයක් අකාලයේ අහිමි වූ බවයි. ඒ අනුව, තිසර වේරගලගේට අවම වශයෙන් වසර 23 යි මාස 9 ක කාලයක් බන්ධනාගාරගතව සිටිය යුතු අතර, ඉන් පසුව පමණක් ඔහු නිදහස් කිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතය.


























