​බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්: දිවයින පුරා වැසි සහ තද සුළං!

ගිනිකොනදිග ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණික තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙහි බලපෑම මත ඉදිරි පැය 24 තුළ හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති විය හැක. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර, මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, උදෑසන කාලයේදී උතුරු-මැද, සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.​මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වන අතර, කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද ප්‍රහාරක සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනු ලැබේ. තවද, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,016

Leave A Reply

Your email address will not be published. Required fields are marked *