බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11:30 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 490ක් පමණ ගිනිකොන දෙසින් ස්ථානගතව පැවති අතර, ඉදිරි පැය 24 තුළ එය බස්නාහිර-වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි පැය 12 ඇතුළත මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී ‘තද පීඩන අවපාතයක්’ බවට පත්වීමට ඉඩ ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වළාකුළු පිරි අහසක් පවතිනු ඇත. විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1:00න් පසුව වැසි ඇති වේ.මෙම තත්ත්වය යටතේ ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද, සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 75ත් අතර තරමක තද වැසි ද ඇති විය හැකිය. තවද, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50-60ක පමණ වේගවත් තද සුළං බලාපොරොත්තු විය හැක. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























