බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 50-60 දක්වා වන තද සුළං ඇතිවිය හැකි වුවද, අදාළ අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ අද (23) සිට පවතින වැසි සහිත කාලගුණයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ. ඒ අනුව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සවස් කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.මුහුදු ප්‍රදේශ සැලකීමේදී මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැක. මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 20-40 ත් අතර මධ්‍යස්ථ මට්ටමක පවතින නමුත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. තවද, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


























