බේරුවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත් වී තිබේ. කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (08) දින මෙම වැටලීම සිදු කෙරුණු අතර, කලක් බේරුවල ප්‍රදේශයේම රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇති මෙම සැකකරු කාලයක සිට මෙම ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බව හෙළි විය.මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිනියක යුවළක් ලෙස පෙනී සිටිමින් උපායශීලීව වෛද්‍යවරයා වෙත ගොස් තිබේ. ගබ්සාවක් සිදු කර ගැනීම සඳහා දිනයක් වෙන් කරගෙන වෛද්‍යවරයා හමුවූ අවස්ථාවේදී, කාන්තාව දැඩි බියකින් පසුවන බව අඟවා ඇත. එහිදී වෛද්‍යවරයා “බිය විය යුතු නැති බවත්, තමා මීට පෙර මෙවැනි සැත්කම් රාශියක් සිදු කර පළපුරුද්දක් ඇති බවත්” පවසමින් ඔවුන්ව අස්වැසීමට උත්සාහ කර තිබීම විශේෂත්වයකි.පොලිස් නිලධාරිනිය සැත්කම සඳහා සූදානම් කරන මොහොතේම ක්‍රියාත්මක වූ වැටලීම් කණ්ඩායම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්හ. එම අවස්ථාවේදී ඇති වූ කම්පනය හේතුවෙන් වෛද්‍යවරයාගේ සහයිකාව සිහිසුන්ව ඇද වැටී ඇති බව වාර්තා වේ. වැටලීම අතරතුර ගබ්සා කිරීම් සඳහා යොදා ගන්නා විදේශීය ඖෂධ සහ උපකරණ තොගයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සැකකරු නීතියෙන් බේරීම සඳහා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට ද දැඩි උත්සාහයක නිරත වී තිබේ. තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඕනෑම මුදලක් ලබා දීමට සූදානම් බවට ඔහු ආයාචනා කර ඇති නමුත්, නිලධාරීන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකරු සහ නඩු භාණ්ඩ සියල්ල පොලිස් භාරයට ගෙන තිබේ.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එක් ගබ්සාවක් සඳහා මෙම වෛද්‍යවරයා රුපියල් 45,000 කට අධික මුදලක් අය කර ඇති බවයි. බුද්ධි තොරතුරු මත පදනම්ව ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද මෙම මෙහෙයුම හරහා කාලයක් තිස්සේ ප්‍රදේශයේ සිදුවූ භයානක සෞඛ්‍ය විරෝධී ක්‍රියාවලියක් නතර කිරීමට පොලිසියට හැකි විය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම මෙහෙයවන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වලාන දූෂණ මර්දන බලකාය වැඩිදුර විමර්ශන පවත්වයි.


























