බෝවන සහ බෝනොවන රෝගවලට ප්‍රතිකාර කිරීම මෙන් ම රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

බෝවන සහ බෝනොවන රෝගවලට ප්‍රතිකාර කිරීම මෙන් ම රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේ ම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ (The Nutrition Society of Sri Lanka) 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

“උසස් පෝෂණය සහ සෞඛ්‍ය සාක්ෂරතාව තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන්න තේමාව කර ගනිමින් මෙවර 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය පැවැත්වුණි.

සැසිවාරය අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පෝෂණ තත්ත්වයන් ඉහළ නංවමින් සෞඛ්‍ය සුරක්ෂිතතාව නඟා සිටුවීම මෙන් ම වැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව සලසා දෙමින් රෝගවලින් ආරක්ෂාවීමට අවශ්‍ය මුලික දැනුවත්භාවය ජනතාවට ලබාදීම රෝග ව්‍යාප්තිය පාලනයට අතිශය වැදගත් බව පැවසී ය. එමගින් පුද්ගල සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙන අතර ම මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනවශ්‍ය පිරිවැය අවම කර ගැනීමට ද එය හේතු සාධක වන බව ද පෙන්වා දුන්නේ ය.

මෙම ඉලක්කය සපුරාලීම සඳහා බහු පාර්ශවීය දායකත්වය මත එනම්, වෛද්‍ය වෘත්තිකයන්, පෝෂණ විශේෂඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු සමාජ කොටස් සමග එක්ව රෝග වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු යෙදීම ඉතා වැදගත්වන බව ද ශ්‍රී ලංකා පෝෂණ සංගමය ද එ් සදහා ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පෝෂණ සංගමය ශ්‍රී ලංකාවේ පෝෂණය සම්බන්ධව කටයුතු කරන විවිධ වෘත්තීන්වල නියැලෙන පෝෂණවේදීන්, වෛද්‍යවරුන්, ආහාරවේදීන් මෙන් ම මේ හා සම්බන්ධ වෙනත් ක්‍රියාකාරීන්, පෝෂණ අධ්‍යනයට සම්බන්ධ නිරත වන්නන්, පර්යේෂකයන් නියෝජනය කරන පුළුල් පරාසයක විහිදෙන වෘත්තීයවේදීන්ගේ සංගමයකි.

ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ, පෝෂණ විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සහ රටේ ජනගහනයේ සෞඛ්‍යයට එහි යෙදීම ප්‍රවර්ධනය කිරීම සඳහා පෝෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර සම්බන්ධතා ඇති කිරීමයි. ඒ අනුව දිවයිනම ආවරණ වන පරිදි වැඩමුළු පැවැත්වීම, පාසල් හා විශේෂ කාණ්ඩ සහ වතුකර ජනතාව ඉලක්ක කර විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මෙරට පෝෂණය පිළිබඳ ගැටලුවක් ඇතිවූ විට ඊට සෘජුව මැදිහත්වීම එම සංගමය විසින් සිදු කරනු ලබයි.

වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ දී මෙරට සහ විදේශිය රටවල පෝෂණ සංගම්වල වෘත්තීයවේදීන්, විද්වතුන් නියෝජිතයන් සමග සම්බන්ධ වී එක්ව සාකච්ඡා කර දැනුම බෙදා ගැනීම, දැනුම වර්ධනය කර ගැනීම, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම, ඉදිරි යෝජනාවන් ඉදිරිපත් කිරීම, සැලසුම් සකස් කිරීම වැනි ක්‍රියාවන්වල නිරත වේ.‍‍

මෙම වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ දී ප්‍රධාන දේශනය යුනිසෙෆ් සංවිධානයේ මෙරට කාර්යාලයේ සෞඛ්‍ය හා පෝෂණ කළමණාකරු වෛද්‍ය Abner Elkan Daniel මහතා විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර, උප සභාපති වෛද්‍ය කුමාරි රත්නායක,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, වයඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්‍යඨ මහචාර්ය රේණුක සිල්වා,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දමයන්ති දසනායක,කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාංචන අබේසේකර, ඇතුළු ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *