’රටම එකට’ (Nation United – National Drive) යන ජාතික වැඩසටහන යටතේ මෙරට මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ සුවිශේෂී මෙහෙයුම අද (2025 ඔක්තෝබර් 30, බ්‍රහස්පතින්දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. පෙරවරු 10.00 ට වැඩසටහන ආරම්භ වූ අතර, මෙය සංවිධානාත්මක අපරාධ ජාලයන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ බුද්ධි සේවාවන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන ජාතික මෙහෙයුමක ආරම්භය සනිටුහන් කරයි. මෙම වැඩපිළිවෙළට සමගාමීව නව ජාතික මෙහෙයුම් කවුන්සිලයක් ස්ථාපිත කර ඇති අතර, එහි අධීක්ෂණය යටතේ පුළුල් මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර ද ක්‍රියාත්මක වීමට නියමිතය.මෙම නව ජාතික මෙහෙයුම මඟින් රට පුරා සිටින තරුණ ප්‍රජාව සහ පාසල් සිසුන් ඇතුළු ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපයෝජනය මැඩලීම අරමුණු කරයි. සැපයුම සහ ඉල්ලුම යන දෙකම පාලනය කිරීමට සමුදාය පාදක කරගත් පුළුල් යාන්ත්‍රණයක් හරහා මහජන සහභාගිත්වය යොදා ගනිමින් මෙහි කටයුතු සිදුකෙරෙනු ඇත. අද දින සිටම පාසල්, විශ්වවිද්‍යාල, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු සියලුම ආයතන දැනුවත් කිරීමේ සහ වැළැක්වීමේ කටයුතුවලට සම්බන්ධ වනු ඇත. ඊට සමගාමීව, පළාත් සභා, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන නිලධාරීන් මෙම ජාතික මෙහෙයුමට සහාය වීමට විධිමත් ප්‍රතිඥාවක් ලබා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.























