මෙරට බහුදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කරන පද්ධතියේ (VMS) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රහසිගත පරිගණක දත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවට ලැබුණු තොරතුරු මත, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. විවෘත මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යාත්‍රා හඳුනා ගැනීමට යොදාගන්නා මෙම දත්ත කාන්දු වීම හේතුවෙන්, ජාවාරම්කරුවන්ට නාවික හමුදා නිරීක්ෂණ කලාපවලින් බැහැරව ගමන් මාර්ග වෙනස් කිරීමටත් වැටලීම් මගහැරීමටත් අවස්ථාව ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශය විසින් පමණක් පරිහරණය කරනු ලබන මෙම අධි තාක්ෂණික පද්ධතිය හරහා යාත්‍රාවල ගමන් මග සහ අයිතිකරුවන් පිළිබඳ තොරතුරු සජීවීව ලබාගත හැක. දූෂිත නිලධාරීන් කිහිපදෙනෙකු විසින් මෙහි රහස්පද (Passwords) පිටස්තර පුද්ගලයන් වෙත ලබා දී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය හමුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය දත්ත පද්ධතිය නවීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර, දූෂිත නිලධාරීන් ඉවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇත.මේ වන විටත් උප පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති අතර තවත් පිරිසකට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මකය. මෙහි කොටසක් ලෙස, තාක්ෂණික සහ පරිගණක දැනුම සහිත නව නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ මස 25 වන දින ආරම්භ කිරීමට නියමිතය.


























