වැලිකඩ පොලිස් ස්ථානය තුල වද හිංසාවට ලක්වි මියගිය බව කියන බදුල්ලේ මීගහකිවුල පදිංචි එම්. සත්සර නිමේශ් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් යම් තොරතුරු වසන් කිරීමට වැලිකඩ පොලිසිය කටයුතු කර ඇති බවට සැකයක් මතු ඇති බව සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතා පවසනවා.
පොලිසිය ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව අවදානය යොමු කිරීමේදී එය මනා පෙනී යන බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් පසුගියදා රාජගිරිය පොලිස් වසමේ හෝටලයක් අසල මානසික ආබාධයක් සහිත තරුණයෙකු කලහලකාරි ලෙස හැසිරෙන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව වැලිකඩ පොලිස් නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව මෙම තරුණයා වැලිකඩ සිර මැදිරිය තුල බිම ඇදවැටී කළහලකාරී ලෙස හැසුරුණු බව පොලිසිය පවසනවා.
ඉන්පසු එම තරුණයා අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර සඳහා රැගෙන යාමට පියවර ගත බව පොලිසිය කියා සිටියා.
පසුව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම තරුණයා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
මෙම මරණය සම්බන්ධයෙන් මේවන විට නුගේගොඩ කොට්ඨාස භාර අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මේවන විට යම් සැකයක් මතුව ඇති අතර එම තරුණයාව අංගොඩ මානසික රෝහලට රැගෙන යන අවස්ථාවේ ශරීරයේ උෂ්ණත්වය පමණක් පැවති රෝහල් ආරංචි මාර්ග පවසනවා.