මලල ක්‍රීඩාවේ නව පිම්මකට ‘බිමල් ප්‍රසන්න’ ප්‍රමුඛ විද්වත් කණ්ඩායම සූදානම්!

​ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉදිරි නිලවරණය සඳහා සභාපති ධූර අපේක්ෂක බිමල් ප්‍රසන්න විජේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් සිය මංගල මාධ්‍ය හමුව පවත්වමින් සිය ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කළේය. සියලු පළාත් සහ ක්‍රීඩා ඉසව් ආවරණය වන පරිදි සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම, ක්‍රීඩාවේ විනය, සෞඛ්‍යය සහ ක්‍රීඩකයාගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් නව දැක්මක් ඉදිරිපත් කර සිටියි. අතීත පසුබෑම් ගැන කතා කරනු වෙනුවට, නවීන තාක්ෂණය සහ කළමනාකරණය ඔස්සේ මලල ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම තමන්ගේ මූලික අරමුණ බව මෙහිදී බිමල් ප්‍රසන්න මහතා අවධාරණය කළේය.​මෙම කණ්ඩායමට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන් රැසකගේ සහාය හිමිව තිබීම විශේෂත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සුනිල් ජයවීර මහතා පෙන්වා දුන්නේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි දක්ෂ හා පළපුරුදු අපේක්ෂක ලැයිස්තුවක් මෙවර ඉදිරිපත් කර ඇති බවයි. ලේකම් ධූරය සඳහා මාධව බණ්ඩාර සෙනරත් මහතාත්, භාණ්ඩාගාරික ධූරය සඳහා රසිකා නිලංගනී මහත්මියත් මෙහිදී තරඟ වදින අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණ පුහුණුකරුවෙකු වන සුසන්ත ප්‍රනාන්දු මහතා ද මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්ව සිටියි.​ඉදිරි වැඩපිළිවෙළ යටතේ ක්‍රීඩකයින් සංචිත ගත කිරීමේ (Pooling) විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂිත අතර, ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩකාවන් සඳහා ඔවුන්ටම වෙන්වූ විශේෂ සංවර්ධන සැලසුම් සකස් කිරීමට නියමිතය. විශේෂයෙන්ම ජාත්‍යන්තර තරඟාවලි ඉලක්ක කරගනිමින් ක්‍රීඩක හැකියාවන් උපරිම මට්ටමට රැගෙන ඒම සහ දේශීය දක්ෂතාවන් මුළු දිවයිනම ආවරණය වන පරිදි හඳුනාගැනීම සඳහා වන උපායමාර්ගික සැලැස්ම මේ වන විටත් සකස් කර ඇති බවත්, බලයට පත්වූ සැනින් ඒවා ක්‍රියාත්මක කරන බවත් ලේකම් ධූර අපේක්ෂක මාධව බණ්ඩාර සෙනරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,052

Leave A Reply

Your email address will not be published. Required fields are marked *