මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවට ලැබුණු පණිවුඩය මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින් සිදුකළ එකක් බවට පොලිසිය සැක පළ කරයි. ඊයේ (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලැබුණු විද්‍යුත් තැපැල් (Email) පණිවුඩයක් මගින් අදාළ පරිශ්‍රයේ ස්ථාන පහක පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවට දැනුම් දී තිබුණි. ඒ පිළිබඳව මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, මහනුවර පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිවුම් ඒකකය, පොලිස් නිල සුනඛ ඒකකය සහ යුද හමුදා බෝම්බ නිවුම් ඒකකය එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.2025 දෙසැම්බර් 26 වන දින උදෑසන සිට සවස් වන තෙක් සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බව පොලිසිය තහවුරු කරයි. මෙම තර්ජනය මහජන කැළඹීමක් ඇති කිරීමේ අරමුණින් සිදු කළ එකක් බවට විශ්වාස කරන පොලිසිය, අද (27) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාර දී ඇති බවයි.


























