මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තර්ජනාත්මක ඊමේල් පණිවිඩ දෙකක් ලැබී ඇති අතර, ඒවා දකුණු ආසියාතික රටකින් එවා ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ. ඉකුත් දෙසැම්බර් 23 වනදා පළමු විද්‍යුත් ලිපිය ලැබී තිබුණද, ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් වී ඇත්තේ දෙසැම්බර් 26 වනදා පෙරවරුවේදීය. දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මේ පිළිබඳව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු, බෝම්බ නිලධාරීන්, පොලිස් සුනඛ අංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව පරිශ්‍රය සහ වාහන දැඩි පරීක්ෂාවකට ලක් කළ නමුත් සැකකටයුතු කිසිවක් හමු නොවූ බැවින් එය ව්‍යාජ තොරතුරක් බව පොලීසිය තහවුරු කළේය.කෙසේ වෙතත්, කාර්යාල කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ පස්වරු 4.00 ට පෙර පිපිරීමක් සිදුවන බව පවසමින් දෙවන ඊමේල් පණිවිඩයද එවා තිබූ අතර, ඒ හේතුවෙන් ආරක්ෂක අංශ යළිත් කැඳවීමට පියවර ගැනුණි. මෙම තත්ත්වය හමුවේ සේවකයින් භීතියට පත්ව අර්ධ නිවාඩු ලබා පිටව යාම නිසා, නත්තල් නිවාඩුවෙන් පසු රියදුරු බලපත්‍ර අලුත් කිරීම වැනි සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයට පත් වූහ. මීට පෙර දෙසැම්බර් මාසයේද එම රටෙන්ම මෙවැනි තර්ජනාත්මක පණිවිඩ ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.


























