මාධ්‍ය මර්දනයට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් රතු එළියක්

​ශ්‍රී ලංකාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වෙමින් පවතින තර්ජන සහ අපහාස කිරීම් සම්බන්ධ පොලිස් පරීක්ෂණ හරහා මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි අවධානය යොමු කර ඇත. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට හේතු දැක්වීමකින් තොරව පොලිසිය හමුවට පැමිණෙන ලෙස දැනුම් දීම මගින් 2025 ජූලි මස පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය වී ඇති බව කොමිසම පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය යටතේ තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අන්තර්ජාලය හරහා සිදුකරන ප්‍රකාශ ද ඇතුළත් වන බවත්, කිසියම් පාලනයක් පනවන්නේ නම් එය අත්‍යවශ්‍ය සහ සාධාරණ හේතු මත පදනම් විය යුතු බවත් කොමිසම අවධාරණය කරයි.​විශේෂයෙන්ම, 2002 වසරේ සිට අපහාස කිරීම ශ්‍රී ලංකාව තුළ අපරාධමය වරදක් නොවන බැවින්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට බලයක් නොමැති බවත් එවැනි පැමිණිලි සිවිල් අධිකරණ බලසීමාවට පමණක් අයත් වන බවත් කොමිසම නැවත මතක් කර දෙයි. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට එල්ල වන විවේචන ඉවසීමට පුරුදු විය යුතු බවත්, ඔවුන්ගේ විවේචකයන් මර්දනය කිරීමට නීතිය අවභාවිත නොකළ යුතු බවත් එහි සඳහන් වේ. තවද, මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත (OSA) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සමඟ පූර්ණ ලෙස අනුකූල නොවන බව පවසන කොමිසම, එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත්, අපහාස කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් වළකින ලෙස පොලිසියට උපදෙස් දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *