ශ්‍රී ලංකාවේ මානව ජාවාරම මැඩලීම සහ ඒ පිළිබඳ නිරන්තර සුපරීක්ෂාව සඳහා වන “2026–2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම” අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) තාක්ෂණික සහාය ඇතිව සකස් කරන ලද මෙම පස් අවුරුදු සැලැස්ම, මානව ජාවාරම වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ වගවීම තහවුරු කිරීම සඳහා වන ඒකාබද්ධ ජාතික රාමුවක් ලෙස ක්‍රියාත්මක වේ.මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, මෙම ක්‍රියාකාරී සැලැස්ම හුදු සංකේතාත්මක ලේඛනයකට පමණක් සීමා නොවී, සම්බන්ධීකරණය කරන ලද තිරසාර වැඩපිළිවෙළක් ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවයි. නිවාරණය, ආරක්ෂාව, නඩු පැවරීම සහ හවුල්කාරිත්වය යන ජාත්‍යන්තරව පිළිගත් කුළුණු හතර පදනම් කරගනිමින් මෙය සකස් කර ඇති අතර, විශේෂයෙන්ම කාන්තාවන් සහ දැරියන් ඉලක්ක කරගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්රවේශයකින් යුත් සහන සේවා සැපයීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය. එසේම, මෙය හුදකලා ප්රයත්නයක් නොවන බවත්, සෑම රජයේ ආයතනයක්ම සිය දෛනික මෙහෙයුම්වලදී මානව ජාවාරමට එරෙහි ප්‍රමුඛතාවන් ඇතුළත් කරගත යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


























