මෙරට මුහුදු සීමාව තුළදී මාලදිවයිනේ ආරක්ෂක අංශ භාරයට ගත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක විශාල මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව මාලදිවයින් පොලීසිය නිල වශයෙන් තහවුරු කර ඇත. නීති විරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ මෙම යාත්‍රාව පසුගිය නොවැම්බර් 7 වන දින මාලදිවයින ජාතික ආරක්ෂක අංශයේ (MNDF) වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාලදිවයින් පොලීසියට අනුව, ‘අවිශ්ක පුතා’ ලෙස හඳුනාගත් මෙම ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මාලදිවයින් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, ඊයේ (10) දින අධිකරණ වරෙන්තුවක් මත යාත්‍රාව විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කර ඇත. එම සෝදිසි මෙහෙයුමේදී යාත්‍රාවේ මැදිරි 24ක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 58 යි ග්‍රෑම් 600ක් සමඟ ‘අයිස්’ (crystal methamphetamine) කිලෝග්‍රෑම් 297 යි ග්‍රෑම් 300ක් සොයා ගැනීමට බලධාරීන්ට හැකි වී තිබේ. මෙම වැටලීම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක අංශය හා පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයක ප්‍රතිඵලයක් බව මාලදිවයින් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් ධීවරයින් 39, 42, 28, 34 සහ 63 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකිකයින් ලෙස හඳුනාගෙන ඇත. මෙම තොගය මාලදිවයින් මුහුදු සීමාව තුළ මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස විස්තර කෙරේ. මේ අතර, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට භාරදීමට කටයුතු කරමින් සිටින බව මාලදිවයින් පොලීසිය ප්‍රකාශ කරයි. විමර්ශන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) සහ නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.























