මැණික් ව්‍යාපාරිකයාගේ දියණියගේ නිවෙසින් ලක්ෂ ගාණක භාණ්ඩ සොරාගත් රාජු භායිව කොටුවෙයි

දිවයිනේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකට අයත් කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකට පැන භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

එහිදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වයස අවුරුදු 13 සිට දේපොළ කොල්ලකෑමට පුරුදුව සිටි පුද්ගලයෙකු බවත්, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් වසර 13ක සිර දඬුවමක් විඳ පැමිණි අයෙකු බවත් පොලිසිය පවසනවා.

සැකකරු පසුගිය අගෝස්තු 10 වැනි දින කුරුඳුවත්ත ග්‍රීන් පාත් ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙසකට ඇතුළු වී එහි ඉහළ මාලයේ කාමර දෙකක තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා කාන්තා අත් බෑග් 6ක්, දුරකථන 2ක් සහ දියමන්ති මාලයක් සොරාගෙන ගොස් තිබෙනවා.

අනතුරුව ලද පැමිණිල්ල මත එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, සොරාගත් අත් බෑග් 05ක් අලුත්කඩේ ප්‍රදේශයටත්, රන් මාලය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුටත් විකුණා තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, සොරාගත් ජංගම දුරකථන සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය සඳහන් කළා.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති ‘රාජු භායි මිහිරාත්’ නමින් හඳුන්වන 52 හැවිරිදි සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *