මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකිව සිටින විදේශීය අමුත්තන් සඳහා දින හතක නොමිලේ වීසා සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම පියවර අදාළ වන්නේ පිටවීමේ ගුවන් ගමන් කල්යෑම හෝ අවලංගු වීම හේතුවෙන් සිය වීසා බලපත්‍රයේ වලංගු කාලය ඉක්මවා මෙරට රැඳී සිටීමට සිදුවන සියලුම විදේශිකයන් සඳහාය.මෙම විශේෂ විධිවිධානය යටතේ, සංචාරකයින්ට ඔවුන්ගේ පවතින වීසා බලපත්‍රය සඳහා කිසිදු ගාස්තුවකින් තොරව දින හතක දීර්ඝ කිරීමක් හිමිවන අතර, එමඟින් අතිරේක රැඳී සිටීමේ දඩ මුදල් ගෙවීමකින් තොරව තම ගමන් සැලසුම් නැවත සකස් කර ගැනීමට අවස්ථාව සැලසේ. ජාත්‍යන්තර ගුවන් ගමන් කාලසටහන්වල සිදුව ඇති බාධාවන් නිසා පීඩාවට පත් සංචාරකයින්ට සහය වීම සහ ඔවුන් විකල්ප ගමන් මාර්ග සොයා ගන්නා තෙක් නීත්‍යානුකූලව මෙරට රැඳී සිටීම තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.


























