මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උත්සන්න වීම් සහ ගුවන් සීමා වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සිරවී සිටින විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි. ඉරානය, ඉරාකය ඇතුළු මැදපෙරදිග රටවල සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව තුළ තත්ත්වය සාමකාමී වුවද, ගුවන් ගමන් අවලංගු වීම නිසා පීඩාවට පත් සංචාරකයින් වෙනුවෙන් රජය විසින් දින 14ක නොමිලේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීමක් ලබා දී ඇත. මීට අමතරව, සියලුම ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර, එහිදී නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් නම්‍යශීලී වීම සහ ගුවන් ගමන් කාලසටහන් පිළිබඳව සංචාරකයින් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා 1912 (සංචාරක හදිසි ඇමතුම්), 1994 (ගුවන් තොටුපළ හා ගුවන් සේවා) සහ 1979 (ශ්‍රී ලංකන් ගුවන් සේවය) යන ක්ෂණික ඇමතුම් අංක පැය 24 පුරා ක්‍රියාත්මක වේ. සංචාරක පොලිසිය සමඟ එක්ව සංචාරක කලාපවල ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන ඇත. ඉරානයට එල්ල වූ ඒකාබද්ධ ප්‍රහාරවලින් පසු කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් වැනි රටවලට ද එහි බලපෑම ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම හදිසි පියවර ගෙන තිබේ.

























