මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් පොහොර ආනයනයට එල්ල විය හැකි බාධා ජය ගනිමින්, මෙරට ගොවි ජනතාවට හිඟයකින් තොරව පොහොර ලබාදීම රජයේ මූලික අභිලාෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අද (02) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ, සැපයුම් දාමයේ ඇති විය හැකි අවහිරතා හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග වෙත කඩිනමින් යොමුවන ලෙසයි. විශේෂයෙන්ම යුද ගැටුම් නොමැති රටවල් හරහා පොහොර ආනයනය කිරීමේ හැකියාව සොයා බලන ලෙසත්, පවතින සංචිත දිස්ත්‍රික් මට්ටමින් විධිමත් කළමනාකරණයකින් යුතුව බෙදා හැරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී උපදෙස් ලැබිණි.වෙළඳපොළ තුළ කෘතිම හිඟයක් මවාපාමින් ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර තොග සඟවා තැබීම සහ අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙවැනි අර්බුදකාරී සමයක ගොවියා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඒ මහතා, වැටලීම් හරහා අත්අඩංගුවට ගන්නා පොහොර තොග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් බෙදා හැරීමට පියවර ගන්නා ලෙසද නියෝග කළේය. දැනටමත් මෙලෙස සොයා ගන්නා ලද පොහොර තොග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත සංචිත ලෙස පවත්වාගෙන යෑමට පියවර ගෙන ඇති බව නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ.මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පොහොර සමාගමේ සභාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ. ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කළ ජනාධිපතිවරයා, ඉදිරි කන්නය සඳහා අවශ්‍ය සියලුම පොහොර අවශ්‍යතා සපුරාලීමට රජය උපරිම මැදිහත්වීමක් සිදුකරන බවට සහතික විය. මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වඩාත් විනිවිදභාවයකින් යුත් බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.





















