මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ආර්ථිකය සුරැකීමට ජනපතිගෙන් හදිසි පියවර

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් සහ ඒවා කළමනාකරණය කරගැනීම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අනාගත වර්ධනයන් පිළිබඳ නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි වුවද, සෑම අංශයකම සිදුවන අලුත් වර්ධනයන් පිළිබඳව නිරන්තර අවධානය යොමු කළ යුතු බවත්, මෙම අභියෝග ජය ගැනීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් සැපයුම, සංචාරක ව්‍යාපාරය, අපනයන, ආයෝජන සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලු මෙන්ම උද්ධමනය පාලනය කරමින් ජන ජීවිතයට සිදුවන බලපෑම අවම කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.​දැනට මෙරට පවතින ඉන්ධන තොග ප්‍රමාණවත් වුවද, ඉදිරි අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය සංචිත පවත්වාගෙන යාම සහ ගෝලීය මිල උච්චාවචනයන් හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය. ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී පවතින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලු සහ ඒවාට කෙටි කාලීන විසඳුම් සෙවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම, සූවස් ඇළ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ග වැසී යාමෙන් කොළඹ වරායට විය හැකි බලපෑම අවම කර ගැනීමට සහ මෙරට සමඟ දිගුකාලීනව කටයුතු කරන නෞකා සමාගම් වෙත අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.​මෙරට ආහාර සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, ඉදිරි අවදානම් සඳහා සැලසුම් සකස් කර ඇති බවත් වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සහතික විය. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයින් මැදපෙරදිග හරහා ගමන් කරන බැවින්, ගුවන් ගමන් සඳහා විකල්ප මාර්ග සෙවීම සහ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද නිලධාරීන් පැහැදිලි කළහ. මීට අමතරව, ආයෝජන ක්ෂේත්‍රයේ ඇති විය හැකි අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දත්ත මධ්‍යස්ථාන වැනි නව තාක්ෂණික අංශ සඳහා ආයෝජන දිරිගැන්වීමේ පැකේජයක් සකස් කරන ලෙසත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක හංස විජයසූරිය මහතාගේ නායකත්වයෙන් එම පියවර විමසා බලන ලෙසත් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *