මැදපෙරදිග කලාපය තුළ කඩිනමින් සාමය සහ ස්ථාවරත්වය ඇතිවීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සමඟ පැවැති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පවතින යුදමය වාතාවරණය හමුවේ කලාපීය ආරක්ෂාවට එල්ල වී ඇති අභියෝග පිළිබඳව තානාපතිවරුන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.යුද්ධයට සෘජුව සම්බන්ධ වී නොමැති මැදපෙරදිග රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය බලවත් කනස්සල්ල පළ කළ ජනාධිපතිවරයා, එවැනි ක්‍රියාවන් කිසිසේත් අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය. කලාපයේ රටවල සාමයට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන හමුවේ ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාව ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මැදපෙරදිග කලාපයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා, විශේෂයෙන් බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම, සංචාරක කර්මාන්තය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ එම රටවල් ලබා දෙන සහාය පිළිබඳව සිය ස්තූතිය පළ කළේය. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය මෙහිදී ඇගයීමට ලක් විය.කලාපයේ සේවය කරන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදපෙරදිග රටවල් ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. පවතින යුදමය අවදානම හමුවේ වුවද තම රටවැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් අරාබි රාජ්‍යයන් දක්වන සහයෝගය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, ඊජිප්තුව, පලස්තීනය, කටාර්, ඉරාකය, කුවේට් සහ ලිබියාව යන රටවල තානාපතිවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී වී සිටියහ. තනි රටක් ලෙස මෙන්ම සාමුහිකව ද සාමය ස්ථාපිත කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව දායක වන බව ජනාධිපතිවරයා ඔවුන් හමුවේ සහතික විය.මීට අමතරව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. මැදපෙරදිග අර්බුදය හුදු කලාපීය ගැටලුවක් නොව ගෝලීය බලපෑමක් ඇති කරුණක් බැවින්, එය සාමකාමීව විසඳා ගැනීම සැමගේ වගකීමක් බව මෙම හමුවේදී යළිත් තහවුරු කෙරිණි.





















