මිදිගම වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නොවැම්බර් 19 වැනිදා මිදිගම හෝටලයක් ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට තැත් කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තවත් සැකකරුවකු ආයුධ සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වෙඩි තැබීමට තැත් කිරීමක් ව්‍යර්ථ කරමින්, කපුවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටි පුද්ගලයකු T-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. එම අවස්ථාවේදී අදාළ සැකකරු තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ සිට ඇති අතර, අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව වාර්තා විය. වැලිගම පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඊයේ දිනයේදී ඉබ්බාවල ප්‍රදේශයේ සැඟව සිටි එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිදිගම, කපුවත්ත ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ රිවෝල්වරයක්, උණ්ඩ 06ක්, T-56 මැගසිනයක්, T-56 උණ්ඩ 14ක් සහ ජාත්‍යන්තරව නිෂ්පාදිත අත්බෝම්බයක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 856

Leave A Reply

Your email address will not be published. Required fields are marked *