ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන “මිලියනයක් ස්වේච්ඡා සේවකයන්ගේ” (One Million Volunteers) වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (26) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ හෙට (27) සහ අනිද්දා (28) යන දෙදින තුළ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන සේවා මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, ආපදාවලින් පීඩාවට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීම, වාරි පද්ධති සහ මාර්ග පිරිසිදු කිරීම මෙන්ම සහන මධ්‍යස්ථානවල සිටින ජනතාව වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් පවත්වා ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම සඳහා ස්වේච්ඡා තරුණ තරුණියන් 1,000කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතව ඇත.මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ, මෑතකදී හලාවත ප්‍රදේශයේ පැවැති ශ්‍රම මෙහෙයුමෙන් අනතුරුව “මිලියනයක් ස්වේච්ඡා සේවකයන්ගේ” වැඩසටහනේ දෙවන අදියර මෙලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි. මෙම උදාර මෙහෙවර සඳහා එක්වීමට කැමති ඕනෑම අයෙකුට volunteer.nysc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


























