මෙරට ඖෂධ පරීක්ෂණාගාර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට: ඔන්ඩන්සෙට්‍රෝන් අර්බුදය මැද නව පියවරක්

​ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිගැනීම සහිත ඖෂධ පරීක්ෂණාගාරයක් මෙරට නොමැති වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ ඖෂධ පරීක්ෂණ පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවසයි. පසුගියදා භාවිතයෙන් ඉවත් කළ ‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) එන්නත් කාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වීමත් සමඟ මෙම අවශ්‍යතාව දැඩිව මතු වූ බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. පරීක්ෂණ සඳහා සාම්පල ජාත්‍යන්තර රසායනාගාර වෙත යොමු කිරීමට සිදුව ඇත්තේ පසුගිය බලධාරීන් මෙරට පහසුකම් දියුණු කිරීමට කටයුතු නොකිරීම නිසා බව පෙන්වා දෙන ඔහු, අදාළ ඉන්දීය නිෂ්පාදිත ‘ඔන්ඩන්සෙට්‍රෝන්’ සාම්පල ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණාගාරයකට යොමු කරන ලෙස එම සමාගම කළ ඉල්ලීම මේ වන විට ඖෂධ ඇගයීම් කමිටුවේ සමාලෝචනයට ලක්ව ඇති බවද සඳහන් කළේය. රෝගීන් දෙදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඉකුත් දෙසැම්බර් 13 වනදා මෙම එන්නත් කාණ්ඩ ඉවත් කිරීමට නියෝග කළ අතර, එම මරණ එන්නත නිසාම සිදු වූයේද යන්න තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 909

Leave A Reply

Your email address will not be published. Required fields are marked *