“මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්”

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(13) කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති කාන්තා සමුළුව අමතමිනි.

මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන් සවිබල ගැන්විම වෙනුවෙන් නව නීති ප්‍රතිසංස්කරණ රැසක් රජය පසුගිය දෙවසර තුළ සිදු කළ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම මෙරට කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තමා තවදුරටත් කැපවී සිටින බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියා “ කෘෂි නවීකරණය සහ ස්වයං රැකියා අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් අපනයන ඉලක්ක කරගත් ඩිජිටල් හා හරිත ආර්ථිකයක් කරා අප ගමන් කරමින් සිටිනවා. මෙම පරිවර්තනය සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට ද අප කටයුතු කරනවා. එහිදී අප ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පළමුවැන්න කාන්තා සවිබල ගැන්වීමේ පනත හරහ මෙරට කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමයි. ඒ වගේම අප ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ද ඉදිරිපත් කර තිබෙනවා. එය කාන්තාවන් සහ පුරුෂයන් අතර සමානාත්මතාවය ඇති කිරීම අරමුණු කර ගෙන ඉදිරිපත් වූවක් මිස ඊට වඩා දෙයක් එහි අන්තර්ගත වන්නෙ නැහැ. එමගින් සෑම ලිංග භේදයකටම අයත් පුද්ගලයන්ට රජය විසින් සමානව සලකන පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට මම තවදුරටත් කැපවී ක්‍රියා කරනවා.කාන්තා සවිබල ගැන්වීම සහ සමානාත්මතාවය සම්බන්ධයෙන්, අප මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අපි මේවා පුළුල් ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ අප ඉටු කළයුතු භූමිකාව කුමක්ද යන්නයි. දේශපාලනයේ නිරතවන කාන්තාවන් පිළිබඳ පමණක් නොවෙයි, ව්‍යාපාර සහ කළමනාකාරීත්වයේ නිරතවන කාන්තාවන් පිළිබඳවද අප කතා කළ යුතුය. එහි අනුපාතය කුමක්ද යන්න සොයාබැලිය යුතුයි. ශ්‍රී ලංකාව තුළ, අපි තවමත් ස්ත්‍රී පුරුෂ අනුපාත ස්ථාපිත කර නැහැ. දෙවනුව අපේ අවධානය යොමු වන්නේ සමාජ සාධාරණත්ව කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහායි. එය සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන තවත් නීතියක් බවට පත්වෙනවා. පංතිය, කුලය සහ වෙනත් ප්‍රශ්න මත පවතින පක්ෂග්‍රාහීව කටයුතු කිරීමේ අභියෝගය අප ජය ගත යුතුයි. අපි මෙය සිදු කරන්නේ නම්, සාධාරණ සමාජයක් සහ විවිධ මට්ටම්වල කාන්තා නියෝජනය සහතික කළ යුතුයි. ලබන වසරේදී කාන්තා සංවිධානවලට එකට එක්ව ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට අවස්ථාව හිමිවන බව ද පැවසිය යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *