ශ්‍රී ලංකාවට බොහෝ විට සංචාරක වීසා මඟින් පැමිණෙන චීන ජාතිකයන් සම්බන්ධ වංචාකාරී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාතික අපරාධ පොලිස් සංවිධානය (Interpol) සමඟ එක්ව කටයුතු කරන බව අමාත්‍යවරයෙක් ඊයේ (27) ප්‍රකාශ කළේය. මොවුන්ව චීන නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග සඳහා නැවත එරටට පිටුවහල් කරනු ඇත.දේශසීමා හරහා සිදු කෙරෙන සූදුව සහ වංචා සම්බන්ධයෙන් චීනය සිය ජාතිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු දැඩි කිරීමට උනන්දුවක් දක්වයි.ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති නවතම ද්විපාර්ශ්වික සාකච්ඡා වලදී මේ පිළිබඳව අවධානය යොමු වී ඇත.සාකච්ඡාවෙන් පසු චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, දේශසීමා හරහා සිදුවන සූදුව සහ වංචා වැනි අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව දෙපාර්ශවය විසින් වැඩිදියුණු කළ යුතු බවයි.මේ සම්බන්ධයෙන් විමසූ විට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, මෙවැනි අපරාධ මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන බලධාරීන් ඉන්ටර්පෝල් සමඟ සම්බන්ධතා පවත්වන බවයි. මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති සමුළුවක් සඳහා පැමිණි ඉන්ටර්පෝල් නියෝජිත කණ්ඩායමක්, සූදුව සහ වංචා වැනි දේශසීමා අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයන් දැලට හසුකර ගැනීමේ සාමූහික ප්‍රයත්න පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු පැවසීය.”චීනය සහයෝගයෙන් කටයුතු කරනවා. මෙම වංචාකරුවන් චීනයෙන් මුදල් වංචා කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ව අත්අඩංගුවට ගෙන එරට නීතිමය ක්‍රියාමාර්ග සඳහා පිටුවහල් කරනවා,” අමාත්‍යවරයා පැවසීය.මීට පෙර, එවැනි පුද්ගලයන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ක්‍රියාමාර්ග ගැනීම සඳහා චීන නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට භාර දී ඇති බව ද ඔහු සඳහන් කළේය.”මම මෑතකදී චීනයේ පැවති මහජන ආරක්ෂක සමුළුවකට සහභාගී වුණා. එම අවස්ථාවේදී සාකච්ඡා කළ ප්‍රධාන මාතෘකාවක් මෙයයි,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන අනෙකුත් විදේශීය ජාතිකයන් සම්බන්ධයෙන් විමසූ විට, 200කට අධික පිරිසක් ආගමන විගමන නීතිය යටතේ වැරදි සිදු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති බව ඔහු පැවසීය.























