රුසියාවේ මොස්කව් අගනුවරදී සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් එරට හමුදා ජෙනරාල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ. රුසියානු විමර්ශන කමිටුව සඳහන් කළේ 56 හැවිරිදි ලුතිනන් ජෙනරාල් ෆැනිල් සර්වාරොව් (Fanil Sarvarov) සඳුදා උදෑසන මෙලෙස මියගොස් ඇත්තේ ඔහුගේ මෝටර් රථය යට අටවා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් බවයි. මියගිය සර්වාරොව් රුසියානු සන්නද්ධ බලකායේ මෙහෙයුම් පුහුණු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි. මෙම ප්‍රහාරය යුක්රේන බුද්ධි අංශවල මැදිහත්වීම මත සිදුවන්නට ඇතැයි සැක කෙරෙන අතර, විමර්ශකයින් මේ වන විට දකුණු මොස්කව්හි පිහිටි අදාළ රථ ගාල් කරන ස්ථානය පරීක්ෂාවට ලක් කරමින් සිටී.2022 වසරේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ දා සිට රුසියානු හමුදා නිලධාරීන් ඉලක්ක කරගනිමින් මොස්කව් නුවර මෙවැනි ප්‍රහාර රැසක් එල්ල වී ඇත. මීට පෙර අප්‍රේල් මාසයේදී ජෙනරාල් යාරොස්ලාව් මොස්කාලික් මෝටර් රථ බෝම්බයකින් මියගිය අතර, 2024 දෙසැම්බරයේදී ජෙනරාල් ඉගෝර් කිරිලොව් ද දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ බෝම්බයකින් ජීවිතක්ෂයට පත් විය. කිරිලොව්ගේ මරණය යුක්රේන ආරක්ෂක අංශ විසින් සිදුකළ බවට වාර්තා පළ වුවද, තම රටෙන් පිටත සිදුවන මෙවැනි ඉලක්කගත ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් වගකීම භාර නොගැනීම යුක්රේනයේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වී තිබේ.

























