යල කන්නයේ පොහොර සැපයුම සහතික කෙරේ: ජනපති සහ පොහොර සමාගම් අතර විශේෂ එකඟතාවක්!

රටේ සහ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ අනුව, එළඹෙන යල කන්නයේදී ගොවීන්ට කිසිදු බාධාවකින් තොරව පොහොර ලබා දීම සඳහා වෙළඳපොළේ ප්‍රමාණවත් පොහොර තොග පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ පොහොර සමාගම් එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණ ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.​මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් හමුවේ, වී ඇතුළු අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර තොග කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 2026 යල කන්නයේදී හෙක්ටයාර 550,000ක් වී වගා කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 125,000කි. මාර්තු 17 වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 68,000ක තොග පැවති අතර, තවත් මෙට්‍රික් ටොන් 77,000ක් සඳහා ඇණවුම් ලබා දී ඇත. ඉන් මෙට්‍රික් ටොන් 21,000ක් අප්‍රේල් මුල වන විට දිවයිනට ළඟා වීමට නියමිතය.​පොහොර හිඟයක් ඇති වේ යැයි පවතින අනියත බිය හේතුවෙන් පසුගිය කාලයේ පොහොර අලෙවිය ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි මාස තුන සඳහා අවශ්‍ය තොග නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වී සහ එළවළු වැනි කෙටි කාලීන බෝග සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. පොහොර සමාගම්වලට රජයෙන් ලැබිය යුතු හිඟ මුදල් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර, රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සමාගම් එකඟතාව පළ කළහ.​මීට අමතරව, කොළඹ සහ ඒ අවට පොහොර ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ පොහොර ආනයනය සඳහා අවශ්‍ය ණය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, තේ මණ්ඩලයේ සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන් මෙන්ම පොහොර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,064

Leave A Reply

Your email address will not be published. Required fields are marked *