යාපනය කයිට්ස් පොලිස් වසමේ අලපිඩ්ඩි මංසන්ධිය අසලදී අද (පෙබරවාරි 10) අලුයම පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් සංඥා නොතකා ධාවනය වූ වෑන් රථයක් නැවැත්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනපේක්ෂිත සිදුවීම සිදුව ඇත. වඩුක්කොට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා වෙඩි වැදීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.පොලිස් ප්රකාශයන්ට අනුව, සැකකටයුතු වෑන් රථයක් නතර කරන ලෙස කළ සංඥා නොසලකා එය මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය කර ඇත. මේ පිළිබඳව කයිට්ස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් ජීප් රථය දැනුවත් කිරීමෙන් පසු, එම රථය යොදාගෙන වෑන් රථය අවහිර කිරීමට උත්සාහ දරා තිබේ. එහිදී අවස්ථා කිහිපයකදීම රථය නතර කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වූ තැන පොලිසිය ප්‍රථමයෙන් අහසට වෙඩි තබා ඇති අතර, පසුව රථය නැවැත්වීම සඳහා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් රියදුරු ලෙස කටයුතු කළ තරුණයාට වෙඩි වැදී ඇත.සිද්ධිය වන අවස්ථාවේදී වෑන් රථයේ පසුපස අංක තහඩුව ගලවා තිබූ බවත්, එහි සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ. කයිට්ස් පොලිසිය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.


























