සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි බැතිමතුන් අමතමින් සිය ප්‍රථම නත්තල් දින පණිවිඩය නිකුත් කළ ලියෝ පාප් වහන්සේ, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඍජු සාකච්ඡාවලට එළඹීමට අවශ්‍ය “ධෛර්යය” සොයා ගන්නා ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියහ. සාම්ප්‍රදායික ‘Urbi et Orbi’ දේශනය පවත්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව අවංක සහ ගෞරවනීය සංවාදයකට අවතීර්ණ වීම හරහා අවි ගැටුම්වල ශබ්දය නතර කළ යුතු බවයි. යුද්ධය නැවැත්වීම සඳහා අමෙරිකාව මැදිහත් වී සාකච්ඡා පවත්වමින් සිටියද, රුසියාව සහ යුක්රේනය අතර මෙතෙක් ඍජු සංවාදයක් ඇති නොවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව, තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා ගැටුම් ඇතුළු ලොව පුරා පවතින අනෙකුත් නොසන්සුන්තා ද පාප් වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ අතර, එම ජාතීන් අතර පැරණි මිත්‍රත්වය යළි ගොඩනගා ගැනීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.ලොව පුරා වෙසෙන නිවාස නොමැති ජනතාවගේ දුක්ඛිත තත්ත්වය සහ යුද්ධය නිසා සිදුවන විනාශය පිළිබඳව ද පාප් වහන්සේ මෙහිදී සංවේදීව අදහස් දැක්වූහ. විශේෂයෙන්ම ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් පිළිබඳව සඳහන් කරමින් උන්වහන්සේ විමසා සිටියේ, සති ගණනාවක් පුරා වැස්සට සහ සීතලට නිරාවරණය වෙමින් කූඩාරම්වල ජීවත් වන එම ජනතාවගේ දුක පිළිබඳව අපට කෙසේ නම් නොසිතා සිටිය හැකිද යන්නයි. 2023 ඔක්තෝබර් 7 වන දින ආරම්භ වූ යුද ගැටුම් හමුවේ ගාසාවේ මිලියන 2.1 ක ජනගහනයෙන් බහුතරයක් අවතැන්ව සිටින අතර, දැඩි ශීත දේශගුණය ඔවුන්ගේ තත්ත්වය තවත් දරුණු කර ඇත. ගාසාවට අත්‍යවශ්‍ය කූඩාරම් සහ ආධාර සැපයීමට ඉඩ දෙන ලෙස සහන සේවා ආයතන ඉල්ලා සිටින පසුබිමක, පාප් වහන්සේ සිදුකළ මෙම මානුෂීය ඉල්ලීම ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.


























