ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලොම්බාර්ඩියා කලාපයේ පුද්ගලයෙකුට කුරුළු ඉන්ෆ්ලුවෙන්සා A(H9N2) වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ. මෙය යුරෝපා සංගමය තුළ වාර්තා වූ ප්‍රථම මානුෂීය H9N2 ආසාදන සිද්ධිය වන අතර, මේ පිළිබඳව බොහෝ දෙනා කනස්සල්ලෙන් පසුවෙයි. විශේෂයෙන්ම මීට පෙර ලොම්බාර්ඩියා කලාපයෙන් වසංගත තත්ත්වයන් ආරම්භ වූ බැවින්, “මේ පාරත් ලොම්බාර්ඩියාවෙන් මොනවා හරි වෙයිද?” යන බිය බොහෝ දෙනා තුළ මතු වී ඇත. කෙසේ වෙතත්, ඉතාලි ජාතික සෞඛ්‍ය ආයතනය (ISS) පවසන්නේ දැනට පවතින තත්ත්වය අනුව මහජනතාව කලබල විය යුතු නැති බවයි.මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පක්ෂීන් අතර ව්‍යාප්ත වන්නක් වුවද, ඉඳහිට ක්ෂීරපායී සතුන්ට සහ මිනිසුන්ටද ආසාදනය විය හැකියි. සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවයි. යුරෝපීය රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය (ECDC) අනුව, සාමාන්‍ය ජනතාවට මෙයින් ඇති අවදානම ඉතා අඩු (Low) මට්ටමක පවතින අතර, යම් අවදානමක් පවතින්නේ ආසාදිත සතුන් සමඟ සෘජුව කටයුතු කරන ගොවිපළ සේවකයන්ට පමණි.මීට අමතරව, මස් හෝ සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් මෙම වෛරසය වැළඳීමේ අවදානමක් නොමැති බව යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) තහවුරු කරයි. වෛරසය සාමාන්‍යයෙන් ශරීරගත වන්නේ ආසාදිත සතුන්ගේ ශ්‍රාවයන් ආශ්වාස කිරීම වැනි සෘජු ස්පර්ශයන් මගිනි. ආහාර පිසීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම සහ මස් හොඳින් තම්බා අනුභව කිරීම මගින් ඕනෑම අවදානමක් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එබැවින්, මෙය පෙර පැවති කොවිඩ්-19 වැනි මහා පරිමාණ වසංගත තත්ත්වයකට සමාන නොවන බවත්, බලධාරීන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් සහතික කර ඇත.
























