සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂක යාන්ත්‍රණය (UCPM) හරහා විශේෂ සහන ආධාර තොගයක් ලබා දී ඇත. සාමාජික රටවල් 37ක එකතුවෙන් ක්‍රියාත්මක වන මෙම යාන්ත්‍රණය යටතේ ජර්මනිය, ප්‍රංශය සහ ලක්සම්බර්ග් යන රටවලින් එවු සහන ද්‍රව්‍ය රැගත් ගුවන් යානා දෙකක් පසුගිය බදාදා (17) කොළඹට ළඟා විය. මෙම තොගයට පවුල් සඳහා අවශ්‍ය කූඩාරම්, මෙට්ට, සනීපාරක්ෂක කට්ටල, කුස්සි උපකරණ, ඇඳන් සහ ජල පෙරණ ඇතුළු ටොන් 83ක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වන අතර, ඒවා වහාම විපතට පත් ජනතාව අතර බෙදා හැරීමට නියමිතය.මෙම ආධාර තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනෝ, ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් සහ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සාරා හසල්බාර්ත් යන මහත්ම මහත්මීන් එක්වූහ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ චතුර ලියනආරච්චි යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාග නිල වශයෙන් භාර ගන්නා ලදී. ජනාධිපති කාර්යාලය සඳහන් කරන පරිදි, මෙම ද්‍රව්‍යමය ආධාරවලට අමතරව යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 2.35ක මූල්‍ය ආධාරයක් ද ශ්‍රී ලංකාවට වෙන් කර තිබේ.මූල්‍ය සහන යටතේ යුරෝ 500,000ක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය (IFRC) හරහා ද, ඉතිරි යුරෝ මිලියන 1.85 ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP) සහ යුනිසෙෆ් (UNICEF) ආයතන හරහා මානුෂීය ආධාර ලෙස ලබා දීමට නියමිතය. මීට අමතරව, ඉතාලිය විසින් ගොඩනැගිලි පිළිබඳ ව්‍යුහ පරීක්ෂක ඉංජිනේරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවා ඇති අතර, යුරෝපා සංගමයේ ‘කොපර්නිකස්’ (Copernicus) චන්ද්‍රිකා තාක්ෂණය මගින් ආපදා ප්‍රදේශවල සිතියම් 30ක් පමණ දැනටමත් ලබා දී ඇත. මෙමගින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාව යළිත් තහවුරු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


























