යුරෝපා සංගමයේ නව නීති: රුපියල් මිලියන 24.4ක රබර් අපනයනය අවදානමේ!

යුරෝපා සංගමයේ (EU) නව වන විනාශයෙන් තොර වෙළඳ නීතිවලට ශ්‍රී ලංකාව අනුකූල නොවන්නේ නම්, වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 24.4 ක ආදායමක් ලබන රබර් අපනයනය අහිමි වීමේ අවදානමක් පවතින බව නීති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies – IPS) අනතුරු අඟවයි.​විශාල සමාගම් සඳහා 2025 දෙසැම්බර් 31 දින සිට බලාත්මක වන යුරෝපා සංගමයේ වන විනාශ නියාමනය (EUDR), ගවයන්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව සහ ස්වාභාවික රබර් යන ප්‍රධාන භාණ්ඩ හතට සම්බන්ධ වන විනාශය සීමා කිරීම අරමුණු කරයි. ටයර්, චොකලට් සහ ලී බඩු වැනි ඒවායින් නිපදවන නිෂ්පාදන ද ඊට ඇතුළත් වේ.​මෙම නියාමනයට ශ්‍රී ලංකාව අනුකූල වීමෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කරන රබර් ප්‍රමාණය 7.6% කින් අඩු විය හැකි බවත්, එය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 24.4 කට සමාන වන බවත් මෙම පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි. රට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, යුරෝපා සංගමයට රබර් අපනයනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි අතර, දළ දේශීය නිෂ්පාදිතය (GDP) 0.07% කින් හැකිලීමට ඉඩ ඇති බව IPS පර්යේෂකයන් වන ආචාර්ය අසංක විජේසිංහ, රෂ්මි අනුපමා සහ චායා දිසානායක යන මහත්ම මහත්මීන්ගේ මෑතකාලීන වාර්තාවක සඳහන් වේ.​විශේෂයෙන්ම, එක්සත් ජනපද වෙළඳ පියවර මගින් ඇති කරන සැලකිය යුතු තීරුබදු කම්පන හේතුවෙන් අනුකූල නොවීමෙන් සිදුවන දළ දේශීය නිෂ්පාදිතයේ පාඩුව වැදගත් වනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පැවසූහ. බොහොමයක් අමුද්‍රව්‍ය දේශීය ගොවීන්ගෙන් ලබා ගන්නා බැවින්, රබර් අංශයේ පවතින ඉහළ දේශීය වටිනාකම් එකතු කිරීම හේතුවෙන් මෙම බලපෑම තීව්‍ර වනු ඇත.​”2024 වසරේදී, ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 337.79 ක් වටිනා විවිධ රබර් සහ රබර් පාදක නිෂ්පාදන 27 ක් (Harmonised System six-digit (HS-6-digit) මට්ටමින්) යුරෝපා සංගමයට අපනයනය කළා. මෙම නිෂ්පාදන අතර ඝන හෝ කුෂන් ටයර්, අත්වැසුම්, නව වායුමය ටයර් සහ වල්කනීකරණය කරන ලද රබර් භාණ්ඩ ඇතුළත්,” බව පර්යේෂකයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, යුරෝපා සංගමය වටිනාකම් එකතු කළ රබර් අපනයන සඳහා ප්‍රධාන ගමනාන්තයක් වන බැවින් EUDR අවශ්‍යතා සපුරාලීමේ අවශ්‍යතාවය අවධාරණය වන බවයි.​මෙම නියාමනය යටතේ, යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වන සියලුම නිෂ්පාදන වන විනාශයෙන් තොර විය යුතු අතර, සම්භවය වන රටේ නීතිවලට අනුව නීත්‍යානුකූලව නිෂ්පාදනය කර තිබිය යුතු අතර, ඒවායේ මූලාශ්‍රය වූ ඉඩම් කැබැල්ල දක්වාම සොයාගත හැකි විය යුතුය. නිෂ්පාදන සම්භවය තහවුරු කිරීම සහ අමුද්‍රව්‍ය තක්සේරු කිරීම සිදු කරන Oritain නම් සේවා සපයන්නාට අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා අනුකූල වීම සඳහා අමතර මාස හයක් ලබා දී ඇත.​EUDR යටතේ ශ්‍රී ලංකාව අඩු අවදානම් සහිත රටක් ලෙස වර්ගීකරණය කිරීමට අපේක්ෂා කළද, අපනයනකරුවන්ට තවමත් සවිස්තරාත්මක භූගෝලීය දත්ත සහ නීත්‍යානුකූල ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.​විශාල වතු සමාගම්වලට ප්‍රධාන දුෂ්කරතා ඇති නොවනු ඇතැයි අපේක්ෂා කළද, රටේ සමස්ත රබර් වගාවෙන් 98,393 හෙක්ටයාරවලින් 69% ක් පමණ නියෝජනය කරන කුඩා පරිමාණ වතු හිමියන්ට සැලකිය යුතු අභියෝග වලට මුහුණ දීමට සිදු විය හැකි බව පර්යේෂකයෝ අනතුරු අඟවති. අවශ්‍ය ඩිජිටල් ආකෘතියෙන් වාර්තා ඩිජිටල්කරණය කිරීමට හෝ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ දත්ත සැපයීමට අවශ්‍ය තාක්ෂණික ධාරිතාව ඔවුන් බොහෝ දෙනෙකුට නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *