
මෙරට සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (30) පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළ කළේ ය. GSP+ සහනය (සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය) රටේ ආර්ථික දියුණුව සඳහා පමණක් නොව දුප්පත්කම තුරන් කිරීමටත් දායක වන බව ද අමාත්‍යවරයා නියෝජිත කණ්ඩායමට පෙන්වා දුන්නේ ය.
නව රජය බලයට පත්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළේ ය. රට තුළ වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් වාර්තා නොවන අතර ජාතික සමගිය රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ. උතුරු සහ නැගෙනහිර පළාත් මෙන් ම වතුකරයේ ජනතාවගේ පිළිගැනීම නව රජයට හිමි වීම සුවිශේෂ ලක්ෂණයක් වේ. 2024 මහමැතිවරණයේ දී උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම රජය ලබා ඇති ජනතා විශ්වාසය පිළිබිඹු කරයි.
නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ද ගෙන ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. 2024 මහමැතිවරණ සඳහා රාජ්‍ය සම්පත් භාවිත නොකිරීම, පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සුවිශේෂ අවස්ථා වේ. ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වයට මැදිහත් නොවී ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ සලසා තිබීමත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා නිසි කාල සීමාවන් තුළ මැතිවරණ පැවැත්වීමටත් රජය ක්‍රියා මාර්ග ගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කොට ඇති අතර එම කමිටුව මාස තුනක කාලයක් තුළ වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා පසුගිය කාල සීමාව තුළ රජයේ වැඩි අවධානය ආර්ථිකය නැවත නගා සිටුවීම කෙරෙහි යොමු කර තිබූ බවත් පාර්ලිමේන්තුව තුළ අයවැය සාර්ථකව සම්මත කරගැනීම සුවිශේෂ කඩඉමක් බවත් නියෝජිත පිරිසට පෙන්වා දුන්නේ ය. එමෙන් ම විවිධ රාජ්‍යන් සමඟ ද්විපාර්ශික ගිවිසුම්වලට එළඹීමට හැකි වීමත් නව රජය ලබාගත් සුවිශේෂ ජයග්‍රහණ වේ.
රජයේ ප්‍රධාන වැඩපිළිවෙලක් වන වංචාව සහ දූෂණය තුරන් කිරීමට අදාළව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනව බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ඊට අදාළ අණපනත් කිහිපයක් සම්මත කර ඇති බවත් පසුගිය කාලවකවානුවල රාජ්‍ය දේපල අවභාවිත කිරීම්වලට සම්බන්ධ පිරිසට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ කිසිවක් දේශපාලන පලිගැනීම් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය. මීට අමතරව පාතාලය වැලැක්වීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ද නීතිය තදීන් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම නව රජයට සුබපැතූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනට අනුගතව රජය ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රසාදය පළ කළේ ය. එමෙන් ම නව රජය අනුගමනය කරන යහපලන පිළිවෙත් ද නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් විය. ස්වාධීන කොමිෂන් සභාවන් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා තිබීම සහ ඒ පිළිබඳව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ද නියෝජිත කණ්ඩායමේ ඇගයීමට ලක් විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක වීම ද පැසසුමට ලක් කළ නියෝජිත පිරිස ඒ සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ නම් එය ලබා දීමටත් සූදානමින් පසුවන බව ප්‍රකාශ කළේ ය.
GSP+ සහනය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටීමේ සාධකයත් සලකා බැලෙන බවත් මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කරනු ලබන වාර්තාව වැදගත් වනු ඇති බවත් මෙහිදී අවාධාරණය කරනු ලැබිණි. මීට අමතරව 2028 ජනවාරි වන විට කම්කරු ගැටලු සහ කම්කරු නීතිවලට අදාළ නව කොන්දේසි මාලාවක් සකස් වීමට නියමිත බැවින් එයට සූදානම් වන ලෙසත් එතෙක් GSP+ සහනය ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජිත පිරිස අමාත්‍යවරයා දැනුවත් කළේ ය.
මෙම සාකච්ඡාවට යුරෝපා සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ (Carmen Moreno), වෙළෙඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ ජනරාල්, ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා ( Guido Dolara), යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයෙහි ශ්‍රී ලංකා නිලධාරී ගලිජා අගිෂේවා (Galija Agisheva) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්විය.